ඊට පස්සේ මට ඕනේ උනා සොල්දාදුවෙක් වෙන්න. යුද්දේ බොහොම සැරට ගියපු කාලයක්. සෙල්ලම් තුවක්කුවක් අරගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කලා. කවුරු හරි ඇහුවොත් ලොකු උනාම වෙන්න ඕනේ කව්ද කියල, මං කිව්වේ හමුදාවට බැඳෙනවා කියල. ඒ හීනේ ඇතිවුනෙත් හරියට ඒ ගැන දැනගෙන එහෙම නෙමෙයි. නිකන් ඇතිවුන හීනයක්. දැන් ආපහු හැරිලා බැලුවම හිතෙනවා ඒ හීනේ එදා තිබුන රැල්ල එක්ක ඇති වෙච්ච එකක් නේද කියල. මොකද ටීවී එකේ ඇතිවෙනකන් දැන්වීම් ගියා හමුදාවට බන්දවගන්නවා කියල. ඉතින් ඕනේ පොඩි එකෙක්ගේ හිතේ අර වගේ හීන ඇති වෙන එක 100%ක් සාමාන්‍යයි.
ඊට පස්සේ මම ඉස්කෝලේ යන්න පටන් ගත්ත. අලුත් හීන ගොඩක් එතකොට ඇති වෙනවනේ. මටත් ඔය වගේ සීන් උනා ඉතින්. ඉස්කෝලෙදි මට ඇතිවුන හීනයක් තමයි දොස්තර කෙනෙක් වෙන එක. මොකද තාත්ත දොස්තර නේ. ඉතින් ඉස්කෝලේ, ගමේ හැමෝම මං දිහා බැලුවේ අනාගත දොස්තර කෙනෙක් වගේ (කියල තමා මං හිතුවේ). මටත් ආසාව තිබුන එකට නං ටික කාලයක්. මොකද මොන්ටිසෝරියේ අන්තිම කොන්සට් එකට මං දොස්තර කෙනෙක් විදියට රඟපෑවා. එකේ ආතල් එකත් තිබුන ඉතින්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තිබුන ආසාව යටපත්වෙලා තිබුනේ එතකොට. හමුදා හීනේ නං හොයාගන්නවත් නෑ මට මතක හැටියට.
ප්‍රාතමිකේ අන්තිම අවුරුද්දේ ඉස්කෝලෙන් නාට්‍යයක් කලා. එකේ කුමාරයට රඟපාන්න ලැබුනේ මට. කතාව sleeping beauty, මට මතක හැටියට. එකේ රගපෑවට මට නළුවෙක් වෙන්න ඕනේ කියන හීනයක් ඇතිවුනේ නෑ. එක අතකින් බැලුවම ඒක පුදුමයි. මං හිතන්නේ ඒකට හේතුව අද කාලේ වගේ නළු පිස්සු ඒ දවස්වල මිනිස්සුන්ට තිබුනේ නෑ. අද නළුවෙක් නැති පවුලක් හොයාගන්න බැරි තරම් නළුවෝ නිලියෝ ඉන්නවනේ.
ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ආව. ජීවිතය සහමුලින්ම වෙනස් උනා. කලින් හිටපු ඉස්කෝලේ තිබුන ජනප්‍රියත්වය, පිළිගැනීම මෙහෙදී හම්බවෙන්නේ නැහැනේ. හැමදේම අලුතින් පටන් ගන්න වෙනවා. නමුත් කරුමෙට මං එහෙම කලේ නෑ. මං ඔහේ බලන් හිටිය. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටිය. සැර, ඇඟට දැනුන හීනයක් තිබුනද කියල මට මතක් කරන්න බෑ. මොන්ටිසොරියේදී කුණු ගෑවෙනවා කියල පැත්තකට වෙලා හිටපු කොල්ල, ප්රාතමිකේදි නැති වෙනකන් බාහිර දේවල් කලා. ඒත් කොළඹ ආවයින් පස්සේ ආයිමත් අර මොන්ටිසෝරියේ හිටි තත්වෙට පත්වුණා. මගේ වැරැද්ද, මම දන්නවා, මම පිලිගන්නවා.
ඔහොම අවුරුදු කීපයක් ගතවුණා. මුකුත් හීන නැතුව. සාමාන්‍ය පෙළ ලංවුණා. එතකොට අවටින් මට ලැබුණ බලපෑම උනේ ඉංජිනේරුවෙක් වෙන්න කියල. මොකද මගේ කැමතිම විෂය උනේ ගණිතය. මම ඒක වැඩිය හිතට ගත්තේ නැහැ. මට වෙන කෙනෙක් වෙන්න ඕනේ කමක් තිබුනෙත් නෑ. ඉතින් මං හිතුව යන විදියටම යන්න. ඔය අතරේ අයෙමත් ක්‍රිකට් හීනේ එලියට ආව ටික කාලෙකට. නමුත් වැඩේ හරි ගියේ නෑ, ඒ හින්ද අකමැත්තෙන් උනත් මට ඒක හිතින් සහමුලින්ම අමතක කරන්න උනා.
යුද්දේ අවසාන අවුරුදු කීපයත් ළඟාවුනා. අර හමුදාවට බැඳෙන්න කියල තිබුන හීනේ අයෙමත් අලුත් උනා. යුද්දෙට ගිහින් මැරෙන්න තරම් ගැම්මක් තිබුනා, ඇත්තම කිව්වොත්. නමුත් වයස මදි හින්ද මට බලන් ඉන්න උනා. ඒ අස්සෙම යුද්දෙත් ඉවර උනා. තවත් හීනයක් ඉවරයි.
උසස් පෙළ කරන්න ආවම මගේ තිබුන දොස්තර හීනෙත් නැවතුනා, මොකද මං තෝරාගත්තේ ගණිතය විෂයධාරාව නිසා. අම්මට ඕනේ උනේ මාව කැම්පස් යවන්න. හැබැයි ඒකට නං මං කවදාවත් කැමති උනේ නෑ. ඒ හින්දම උසස් පෙළත් එපා උනා. කතාකරල වැඩක් නෑ.
ආපහු හැරිලා බැලුවම මං පොඩිකාලේ දැකපු හීන එකක්වත් මට ඉෂ්ට කරගන්න බැරි වෙලා. අද මම ක්රිකටෙක්වත්, සොල්දාදුවෙක්වත්, දොස්තර කෙනෙක්වත්, ඉංජිනේරුවෙක්වත් නෙමෙයි. නිකන්ම නිකන් බ්ලොග් ලියන්නෙක්. හැබැයි දැන් මට හීන ගොඩක් තියෙනවා. ගායකයෙක් වෙන්න, නළුවෙක් වෙන්න, youtube celebrity කෙනෙක් වෙන්න, virtusa එකේ ජොබ් එකක් කරන්න, අහවල් කෙල්ලට talk කරන්න, එපා වෙනකන් club යන්න. මේ වගේ හීන තොගයක් මගේ හිතේ තියෙනවා. ඒ වගේම මං වෙන කවදාටත් වඩා ඒවට වෙහෙසෙනවා. අපි බලමු, තව අවුරුදු දහයකින් මම මේ බ්ලොග් පෝස්ට් එක බලලා සතුටු වෙයිද, එහෙම නැත්තං මේකට තවත් හීන ලැයිස්තුවක් එකතු කරයිද කියල.
හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. ඒවා නැත්තං ජීවිතෙන් වැඩක් නෑ. හීන දකින්න, ඒවා සැබෑකරගන්න උත්සාහ කරන්න.
මිනිස්සුන්ව ජීවත් කරන්නෙත් විනාශ කරන්නෙත් බලාපොරොත්තු.
ReplyDeleteඒක හරියට මුහුදක රළ වගේ,
බලපොරොත්තු හීනත් එක්ක අපේ හිත් ඇතුළට එන්නේ මුහුදු රැල්ල වෙරළට එනව වගේ. එක පාරටම වෙරළෙ තියෙන ගලක රැල්ල වැදිල සුනුවිසුණු වෙනව වගෙ අපෙ බලපොරොත්තුත් සුනුවිසුණු වෙලා යනවා. ඒක නවත්තන්න අපි කාටවත් බෑ. දෙවියන් වහන්සේගෙන් මිනිසාට ලැබුනු එකම ආශිර්වදය බලපොරොත්තුයි. ඒ හින්දා දෙවියන් වහන්සේ ජීවත් වෙන තෙක් අපි බලපොරොත්තු එක්ක පොර බදිනව!
ලස්සනට වචන හසුරවල තියනවා මම ආසයි එකට....එල
ReplyDelete