Nov 2, 2012

ෂර්ලොක් හෝම්ස් සහ චන්දන මෙන්ඩිස්

ෂර්ලොක් හෝම්ස් - විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්). 

නමුත්, නමුත් හෝම්ස් කතා තියෙන්නේ එච්චරයිද???? මෙන්න මේ ප්‍රශ්නය පසුගිය වසර 10ක පමණ ඉඳලා ලාංකීය සිංහල පාඨකයන් අතර නිතර නිතර ඇතිවුණා. විශේෂයෙන්ම "කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" පැවැත්වෙන දවස්වලට වෙනදාටත් වඩා. ඇයි එහෙම වුණේ?? අපි කතා කරමු. 


චන්දන මෙන්ඩිස් - ලංකාවේ සිංහල පාඨකයන්ට හෝම්ස් කිව්වොත්, කොනන් ඩොයිල්ටත් කලින් මතක් වෙන්නේ චන්දන මෙන්ඩිස්ව. ඒ වගේම තමයි චන්දන මෙන්ඩිස් කිව්වොත් මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්. දෙන්නා හරියට කිරි-පැණි වගේ තමයි. එහෙමත් නැත්තන් ලුණු-දෙහි වගේ. සිංහල පාඨක සමාජයට හෝම්ස් හඳුන්වා දුන්නේ මෙන්ඩිස් නෙමෙයි උනත්, හොම්ස්ව වයිරසයක් වගේ ලංකාව පුරා පැතිරෙව්වේ මෙන්ඩිස්. සරල සුගම බස් වහරක් යොදා ගනිමින්, එතෙක් හෝම්ස් ගැන අහලවත් තිබුනේ නැති පොඩ්ඩන්ට වගේම ලොක්කන්ටත්, හෝම්ස් පිස්සුවක් හැදුවේ මෙන්ඩිස්. ඒක ගැන ආයේ කතා දෙකක් නෑ!

"සුනඛ ශාපය", මෙන්ඩිස්ගේ පළමු හෝම්ස් කතා සංග්‍රහය. හෝම්ස් කතා අතරින් බොහොමත්ම ජනප්‍රිය වුණු The Hound of the Baskervilles නම් දීර්ඝ කතාව ප්‍රධාන කොටගත් මෙය පළවුණේ 1998දි. **ඒ වගේම මේක තමයි මං මුලින්ම කියවපු හෝම්ස් කතා පොත. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී මගේ ඥාති සහෝදරයාට මම ස්තුතිවන්ත වෙනවා මේ පොත මට ලබාදීල හෝම්ස් පිළිබඳව පිස්සුවක් ඇතිකිරීම ගැන.** ඉන්පස්සේ "සිව්රහස් සලකුණ", "බිහිසුණු නිම්නය", මළගියඇත්තෝ සාක්කිදෙති" ආදී වශයෙන් '98 සිට 2002 දක්වා වසර 5ක කාලපරාසයකදී, මෙන්ඩිස් පරිවර්තන කෘති 11ක් එළිදැක්වූවා. මේ පොත් 11 තුල කොනන් ඩොයිල් විසින් රචිත හෝම්ස් කතා 60 අන්තර්ගතවුණා. 

ප්‍රශ්නය ඇතිවුනේ 2003 "කොළඹ ජ්‍යාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" වෙනුවෙන් චන්දන මෙන්ඩිස් එළිදක්වපු අලුත් කෘතීන් දෙකක් නිසා. "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ "පුද්ගලිකයි රහසිගතයි" ලෙස නම්දරූ මේ පොත්වල අන්තර්ගතවුණේ අලුත්ම කතා පෙළක්. කොහොමද සම්මතයේ තිබුන කතා 60ට වඩා කතා ආවේ?? මෙන්න මේකට චන්දන මෙන්ඩිස් දීපු හේතුව නම්.....

" මා මෙයට පැටලුනේ ඉතාම පුදුම සහගත අයුරෙනි. මා කියන මේ කතාව ඔබට විශ්වාස කිරීමටත් අපහසු වනු ඇත. මේ කියන්නේ මගේ පෞද්ගලික පුරාජේරුවක් යයි තවදුරටත් කියවද්දී ඔබ සිතනු ඇත. එහෙත් මේ එවැන්නක් නොවන බව මම අවධාරණය කරමි. මගේ ආගිය තොරතුරු නොකියා, මා මෙයට සම්බන්ධ වූ හැටි හෙළිකළ හැකි, වෙනත් ක්‍රමයක් මම නොදනිමි. කෙසේ වුවද මේ සිදුවීම ඇත්තක් බව ඔප්පු කිරීමට සාක්ෂි ඇත්තේ ද ස්වල්පයක් පමණි. දීර්ඝ කතාවක් හැකි තරම් කෙටියෙන් කීමට මම උත්සාහ දරන්නෙමි....."

මෙන්න මේ විදිහට "ආපසු එයි" පොතේ මුල පිටු 9ක් පුරා සදහන් වෙලා තියෙනවා කොහොමද මෙතෙක් කරළියට නොආපු හෝම්ස් කතා "තොගයක්ම" මෙන්ඩිස්ට අහබු ලෙස හමුවුනේ කියලා. අද ඊයෙක මේ වගේ කතාවක් ඇහුවානං එතුමාගේ අම්මාව මතක් කරන එක ෂුවර් උනාට එදා ඉස්කෝලේ 7 වසරේ හිටපු කොල්ලෙක්ට නං මේක මැජික් වගේ තමයි. අනික විකිපීඩියා වගේ සයිට් එකක් පිළිබඳව තියා ඉන්ටනෙට් වත් හරියට තිබ්බේ නැති කාලෙක මේ කතා ආවේ කොහෙන්ද කියලා කොහොම හොයන්නද??

මුලින්ම අලුත් හෝම්ස් කතා වල වලංගු බව පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙන්නේ 2004දි එළිදක්වපු "ඩ්රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්" පොතේ කතාවත් එක්ක. මෙතෙක් තිබුණු කතා රටාවෙන් ඉවත් වෙලා අමනුෂ්‍යයන් සම්බන්ධ පරීක්ෂණයක් කියල මේක හඳුන්වන්න පුළුවන්. ගැටළුව කියන්නේ, "සසෙක්ස් හි වැම්පයර් භීෂණය" කතාවෙදී වැම්පයර් කියල දෙයක් නෑ කියල හිනාවෙන හොම්ස්ම ඩ්රැකියුලාට එරෙහිව සටනට යෑම. 

"පට්ටපල් බොරු වොට්සන්! මහ අමුලික බොරු! ජීවත්වෙන අයගේ ලේ උරා බොමින් තැනින් තැන ඇවිදින මළමිනී එක්ක අපට තියෙන රාජකාරිය මොකක්ද වොට්සන්? උන්ව මිනීවලේ තියන්න පුළුවන්, හර්දය පාසාවෙන්න ලී උලක්‌ යැව්වොත් විතරලු. පිස්සු විකාර!"සිව්රහස් සලකුණ 194 පිට

චන්දන මෙන්ඩිස් පිලිබඳ අපේ තිබුන විශ්වාසය බිඳ වැටුනේ මේ පොත නිසා. ඉන් පස්සේ හැමෝම කියන්න ගත්තා අලුතින් එන කතා කොනන් ඩොයිල් ලියපුවා නෙමෙයි මෙන්ඩිස් විසින් ලියපුවා කියල. නමුත් පොත් එලියට එන එක නැවතුනේ නෑ. මං ඒ පොත් එකතු කරන එක නැවත්තුවෙත් නෑ. පස්සේ ආපු පොත් මුල් ඒවා තරම් හොඳ නැති බව ඇත්ත. හැබැයි සේරම නෙමෙයි. සමහර කතා බොහොම හොඳ තත්වයේ ඒවා. තවත් සමහරක් කතා මීට කලින් අවස්ථාවල වොට්සන් විසින් නාමිකව විතරක් සඳහන් කරපුවා. ඉතින්, කව්ද මේවා ලිව්වේ??? ඩොයිල්ද?? මෙන්ඩිස්ද??? 

කලින් කිව්වත් වගේ, ඩොයිල් විසින් ලියපු කතාවලදී, වොට්සන් සඳහන් කරපු හැම කතාවක්ම ඩොයිල්ට සම්පූර්ණ කරන්න බැරිවුණා. අන්න ඒ වගේ කතා සමහරක් ඩොයිල්ගේ මරණයෙන් පස්සේ ඔහුගේ පුතාගේ අතින් මෙන්ම අනෙකුත් ලේඛකයන් අතින් ලියවුණා. "The Exploits of Sherlock Holmes" කියන්නේ ඒ වගේ කොනන් ඩොයිල්ගේ පුතා ලියපු පොතක්. අපි මෑතකදී කියවපු, මෙන්ඩිස්ගේ "නිධාන පෙට්ටියේ තිබුණු" කතා කිහිපයක්ම මේ පොතේ ඇතුලත්. 

ඉතින්, දැන් තේරුනානේ මේ කතා ආවේ කොහෙන්ද කියල. ඩොයිල් විසින් ෂර්ලොක් හෝම්ස් ගාවගන්නේ නැතුව ලියපු සමහරක් කතා, ඔහුගේ පුතා ලියපු හෝම්ස් කතා, වෙනත් ලේඛකයන් ලියපු හෝම්ස් කතා සහ තවත් රහස් පරීක්ෂක අද්භූත කතා තමයි මෙන්ඩිස් දැන් අපිට විකුනන්නේ. ඇත්තටම අද බැලුවොත්, ඉස්කෝලේ යන පොඩි එකෙකුට හරියකට කියවන්න කියල ඉතුරුවෙලා තියෙන්නේ චන්දන මෙන්ඩිස් මහත්මයාගේ හෝම්ස් කතා විතරයි. ඒ නිසා මොනවා උනත් මං හිතන්නේ, චන්දන මෙන්ඩිස් කියන්නේ අපේ වාසනාවට පහල වෙච්ච පරිවර්තකයෙක්! 





Canon of Sherlock Holmes


3 comments:

  1. මේ ත්‍රෙඩ් එක මගේ. ගිහිල්ලා කියවන්න. ෂර්ලොක් හෝම්ස් කතා ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1562706

    ReplyDelete
    Replies
    1. අඩේ එළ වැඩක්! මරු ඈ :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...
Create your own banner at mybannermaker.com!