"කොහෙයන්නද අනේ දැන්? සල්ලිත් නෑ මං ගාව. ගෙදර යන්" මට නං ගෙදර යනවා ඇරෙන්න වෙන මුකුත් කරන්න මූඩ් එකක් නෑ.
"ඇයි ශානුක ඔයා ඊයේ අරම කිව්වේ? මට දරාගන්න බැරිවුණා ඔයා කියපු ඒ කතාව." මගේ අතින්වත් අල්ලන්නේ නැතුව එයා තනියම ඇවිදිනවා.
"මං කිව්වනේ සොරි කියල, පැටියෝ. මගේ අතින් වැරදිලා වගේ ටයිප් උනේ. හිතල මතල කිව්වා නෙමෙයි"
"ඒ උනාට මගේ හිත රිදුන. මගේ කොල්ලනේද මෙහෙම කියන්නෙ කියල හිතල."
දන්නෙම නැතුව බෝගහ ගාවටම ඇවිත්. උදේ ඉඳල මාත් එක්ක හිනාවත් උනේ නෑ. මූණ එල්ලගත්ත ගමන්. අද නං මෙයාව හලනවා බොරු. "මොනාහරි කනවද?"
"හ්ම්ම්. යන්කො" එයාම මට අඳුන්වල දීපු බෝගහ ළඟ බත් කඩේ. හැමදාම යන එන තැනක් නෙමෙයි උනත් කවදාවත් එයා නැතුව මං ඇවිල්ලම නෑ.
"මොනාද මල්ලි ගේන්නේ?" "මොනාද අය්යේ තියෙන්නේ?" "බුරියානි, ෆ්‍රයිඩ් රයිස්?"
"බුරියානි කනවද?" මං ඇහුව. "හ්ම්ම්" ආයෙත් බකමූනි. මගේ වචනෙ හොරකම් කරල.
"බුරියානි කීයද අය්යේ?" ගාන දන්නේ නැතුව නෙමෙයි. "300යි" "එක්ක ගෙන්න ප්ලේට් දෙකකට"
විරාමයක්. ටිකකින් එයා නැගිටලා ගිහින් අත හොදගත්ත, මටත් නොකියම. මාත් ගියා ඉතින්, ටේබල් එකට අඩි දෙකයි ටැප් එක. "මියාව්..." පූස් පැටියෙක්. සුදුයි, දුඹුරුයි, චූටි පැටියෙක්. එයාට පූස් පැටියගේ වගක් නෑ.
මං ටිකක් වෙලා ඌ දිහා බලං හිටිය. ගෙදර අරන් යන්නද? ආයෙමත් ගිහිල්ල හිටපු තැනම වාඩි උනා.
"ශානුක අපි මේක නවත්තමු!" මොකක්? පිස්සුද හැබෑටම?
මං එයා දිහා බැලුව. කෙල්ලගේ ඇස් දිලිසෙනවා. තව ඩින්ගෙන් කැළණි ගඟ පරාදයි.
"මෙන්න බුරියානි එක ප්ලේට් දෙකකට. බොන්නේ මොනවද?" "ජින්ජර් බියර් බඩි දෙකක්"
ලේන්සුවෙන් ඇස් දෙක පිහිදගෙන එයා කන්න පටන්ගත්ත. මගේ බඩගින්න එනවා, යනවා. කොහොමහරි කන්න ගත්ත.
"අපි ටික කාලෙකට නවත්තමු ශානුක. දැන් කොර්ස් එකත් ඉවර වේගෙනනේ එන්නේ. ඊට පස්සේ අපි හම්බවෙන්නෙත් නෑනේ. ඉතින් නවත්තන එක තමා හොඳ"
අනේ දෙයියනේ! එක ගොන්හරක් වාක්‍යයක් නිසා වෙච්චි දෙයක්. මට උත්තර දෙන්න බැරිවුණා. එහෙමත් නැත්තන් උත්තර දෙන්න ඕනේ කමක් තිබුනේ නෑ.
"ඔයාට තේරෙනවනේ අපි දෙන්න ගැලපෙන්නෑ කියල. ඔයා තාම පුංචි වැඩියි ශානුක. ඔයාට තේරෙන්නේ නෑ ආදරේ කරන්න"
ආයෙත් ලේන්සුව ඇහේ. නහයත් බරකරලා. මම කාල ඉවරකලා. බීම දෙක ආවේ එතකොට.
"අපි හම්බුවෙලා එකට ඉන්නකොට ඉන්න ඔයා නෙමෙයි ෆෝන් එකෙන් මාත් එක්ක කතා කරන්නේ. එස්එම්එස් කරන්නේ. ඇයි ඒ? ඔයා හරි වෙනස්. රිප්ලයි කරන්න පැය ගානක් ගන්නවා"
"අය්යෝ ඉතින් දන්නවනේ මගේ ෆෝන් එකේ හැටි? බැට්රිය මහ ලෙඩක්. අනිත් එක මං ට්‍රයි කරනවනේ ඔයාට ඕනේ විදියට ඉන්න"
"මට ඊයේ හිතුන දෙයියනේ මමම නේද මේදේ කරගත්තේ කියල. මට එපා උනා ශානුක" එයා පුටුවෙන් නැගිට්ට. කොහොමහරි ප්ලේට් එකෙන් හුගක් හිස් කරල. අත හෝදන් ඇවිත් වාඩි උනා අපි දෙන්නම.
"මෙන්න මගේ ගාන බිල ගෙවන්න" පිස්සිගේ පලාමල්ලෙන් රුපියල් 100ක් මේසේ උඩට වැටුන.
"මං ගෙවන්නන්!" සීය අතට අරන් ආයෙත් එයාගේ මල්ලටම දැම්මා. කොහෙද, ආයෙත් මේසේ උඩ. මං ඒක සාක්කුවට දාගත්ත.
ආයෙත් එයා මොනාද කියවනවා. ඉස්සෙල්ල කියපුවම තමයි. හැබැයි මට එයා දිහා බලන්න බෑ වගේ. වචනයක් වචනයක් ගානේ ලේන්සුව ඇහැට යනවා. මං අහක බලාගත්ත.
සින්ක් එක යටින් එලියට ආපු පූස් පැටිය ඉඳුල් හොය හොය ඇවිදිනවා. මගේ ඇස් බොඳ වෙනව වගේ. ඉක්මනට ෂර්ට් අතෙන් ඇස් පිහිදාන් බීම එක ඉවර කලා.
"350යි!" බිල. පර්ස් එකෙන් ආපු සීයේ කොළ තුනයි පනහේ කොලයයි පොඩි ඇලුමිනියන් පීරිසියට වැටුන. එයා පුටුවෙන් නැගිටලත් ඉවරයි.
ඉක්මනට නැගිටලා ලැප්ටොප් බෑග් එක කරට දාගෙන මං එයා පස්සෙන් ආයෙත් ගුවන් පාලම යටට ආව.
"අන්න බස් එකක්, යන්" 163 දෙහිවල බත්තරමුල්ලක් නේ? ප්‍රශ්නේ හිතේ තදකරන් මාත් නැග්ග. බස් එකේ මැදට ගිහිල්ල බෑග් එක දැම්ම රැක් එකට.
"අය්යෝ!" ඒ මම. මං ගාව වාඩි වෙලා හිටිය ඇන්ටි මං දිහා බැලුව ගැස්සිලා.
"ඇයි, ඇයි?" එයා, මගේ ඇඟටම හේත්තුවෙලා හැමදාම වගේ.
"කුඩේ?" "කඩේ දාල ආවද?" "නෑ, ලැබ් එකේ" "ආ.. හෙට ගිහින් අරගන්න" "නැති වෙයිද?" "නෑ, මගෙත් කුඩයක් තිබුණා. නැතිඋනේ නෑ" දවසේ පළමු වතාවට එයා මාත් එක්ක සැහැල්ලුවෙන් කතාකරනවා. හිතේ තිබ්බ බය පොඩ්ඩක් විතර මග ඇරුන.
බත්තරමුල්ලට යනකන් නිශ්ශබ්දයි. ආර්පිකෝ එක ලඟින් අපි බැස්ස.
"පාර පනිමු"
"කහ ඉර අතන" මොකටද නිකන් මැරෙන්නේ? පාර පැනලා නුගේගොඩ යන බස් නවත්තන හෝල්ට් එකට ආව.
"මේකේ සෙනඟ. ඊළඟ එකේ යන්" මං එයා දිහා බැලුව. දැකල පුරුදු සුදුපාට බීරළු ඕවර්කෝට් එකට යටින් දුඹුරුපාට ටොප් එකක් ඇඳලා. හම්බුණු පලවෙනිදවසට වඩා කොච්චර වෙනස්ද.
බස් එකක් ආව. පිටිපස්සේ සීට් එක හිස්. ටක්ගාල ගිහින් එයා කොනේම සීට් එකේ වාඩි උනා. මං ඊට අල්ලපු එකේ.
ආයෙත් එයා කතාවක්. මං වෙනස්ලු, මට ආදරේ කරන්න තේරෙන්නේ නෑලු, අපි ගැලපෙන්නේ නෑලු. බස් එක නැවැත්තුව, ලෝඩ් එක දාගන්න.
"මගේ නම්බරේ ඩිලීට් කරන්න. අර එවපු ෆොටෝසුත් ඩිලීට් කරන්න"
මෙන්න මෙයා අඬනවා! කඳුළු ඇස් දෙකෙන් බේරෙනවා දියඇල්ලක් වගේ. මට එයා දිහා බලන් ඉන්න බැරිඋනා. ඇස් ආයෙත් බොඳ වුණා. හැබැයි කලින්ටත් වඩා. කරුමෙට ලේන්සුවක් ගේන්න අමතක වෙලා මට.
සුදුපාට ෂර්ට් අත දිග මදි. එයා දැක්ක. මගේ නිකටෙන් අල්ලලා එයාගේ පැත්තට මූණ හැරෙව්වා.
"ශානුක ඔයා අඬනවා.." මං මුකුත් කිව්වේ නෑ. ට්‍රයි කලේ දකුණු අතෙන්වත් කඳුළු පිහිදාගන්න.
මොන? එයා මගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලාගෙන. එයාගේ ලේන්සුව තෙත් වෙලා උණු කඳුළු වලින්. ඒ මදිවට දැන් ඒක මගේ අතට ඔබනවා. අය්යෝ!
මං අපේ අත් දිහාම බලන් හිටිය. මගේ දකුණු ෂර්ට් අත එයාගේ කඳුළු වලින් නෑවිල ෂුවර්. මිනිස්සු අපි දිහා බලනවත් ඇති. ඔලුව උස්සල බැලුව, හ්ම්ම්. සෙනසුරාද හින්ද එච්චර සෙනගක් නෑ.
"ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි, ශානුක. ප්ලීස් අපි මේක නවත්තමු.." තව කියනව.
නුගේගොඩ ස්ටෑන්ඩ් එකට ලංවෙද්දි අපේ කඳුළු වේලිලා. එයා පාර පැනලා ඉක්මනට ඉක්මනට ඇවිදන් ගියා. මාත් හෙමි හෙමින් පස්සෙන් ගියා.
"ඔයා එන්න එපා. කව්රුහරි දකියි!"
"ඉතින් මං පිටිපස්සෙන් නේ එන්නේ?"
"අනේ එපා. ප්ලීස්.." "හා හා, මං ඔය ඉස්සරහ හෝල්ට් එකෙන් නවතින්නං" "මං ගියාට පස්සේ එන්න"
එයා හිනාඋනා. ඊට පස්සේ මට පිටුපාල ආයෙත් ගමනේ. හෝල්ට් එකට එද්දී 176ක් නවත්තල. ලැබ් එක තාම ඇරලද දන්නෑ?
පෙරදින රාත්‍රිය :
යවන්නා - මම
ලබන්නා - ඇය
අන්තර්ගතය - "ඇඳ උඩ දාගෙන ගහන්නද කියන්නෙ?"
No comments:
Post a Comment